මාතර දිස්ත්‍රික්කයේ සබරගමුව පළාත් මායිමේ පිහිටි අතිශය දුෂ්කර මායිම් ගම්මානයක පිහිටුවා ඇති කැටවල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් විසින් සමස්ත ලංකාවම මවිතයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ. සම්පත් සහ පහසුකම් අවම වුවද, තම දැඩි උත්සාහය සහ කැපවීම මත 2026 වසරේ පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ 6–11 ශ්‍රේණි සබරගමුව මිශ්‍ර සමූහ ‘කෝවුලා වන්නම’ තරග අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට මෙම පුංචි දරුවෝ සමත්වූහ.
මෙම අභිමානවත් ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් මාතර ඌරුබොක්ක නගරයේ සිට විද්‍යාලය දක්වා රථවාහන පෙරහැරකින් දරුවන්ව ඉතා උත්කර්ෂවත් අයුරින් කැඳවාගෙන ආ අතර, මඟ දෙපස රැස්වූ ගම්වාසීන්, දෙමාපියන් සහ දෙණියාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් එක්ව ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පාසල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ උත්සව සභාවේදී ජයග්‍රාහී නර්තන අංගය වේදිකාගත කෙරුණු අතර, ආරාධිත අමුත්තන් අතින් දක්ෂතා දැක්වූ දරුවන් වෙනුවෙන් උපහාර සම්මාන ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
විදුහල්පති ලයනල් මානගේ මහතාගේ මඟපෙන්වීම සහ නර්තන ආචාරිනී ආලෝකා එස්. ජයසිංහ මහත්මියගේ කැපවීම මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස වූ ප්‍රධාන ශක්තියයි. සම්පත් හිඟකම කිසිදා ජයග්‍රහණයට බාධාවක් කර නොගත් මේ දරුවන් මුළු රටටම කියාදෙන්නේ උත්සාහයත් අධිෂ්ඨානයත් තිබේ නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවයි.














