කොළඹ, ගම්පහ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වෙසෙන මිලියන 8කට ආසන්න ජනතාවකගේ (පවුල් මිලියන 2කගේ) ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන කැලණි ගඟ දූෂණය වීමෙන් වළක්වා සුරැකීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) දැනට නුවරඑළියේ සිට අඹතලේ දක්වා ස්ථාන 27කින් කැලණි ගඟේ ජලය ලබාගෙන ජනතාව වෙත බෙදා හරිනු ලබයි.
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව පවතින කර්මාන්තශාලා 6,000කට අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගාවේ ජලයේ ගුණාත්මකභාවයට බරපතළ තර්ජන එල්ල වී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. ඉදිරි වසර 5 තුළ ඇතිවිය හැකි විශාල පාරිසරික සහ පානීය ජල අර්බුදයට පිළියමක් ලෙස විෂයභාර අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී මෙහි සමාරම්භක සාකච්ඡාව පවත්වා ඇත. ජල සම්පාදන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය (CEA), කර්මාන්ත අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන එක්ව කාර්මික හා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය, නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට මෙහිදී තීරණය කෙරිණි.
















