කැලණිමුල්ල ප්‍රදේශයේ වාහන අංගනයකින් කන්ටේනර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය ජූනි 08 වැනිදා ජල්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් වාහන අංගනයකින් මෙම රථය අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇත.
සොරකම් කරන ලද ලොරි රථය රණාල, ඇඹුල්ගම ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි විය. සොයා ගන්නා අවස්ථාව වන විටත් රථයේ තිබූ අමතර රෝදය ඇතුළු අමතර කොටස් කිහිපයක් ගලවා විකුණා දමා තිබූ බව වාර්තා වේ.
මෙම සොරකම සිදුකර ඇත්තේ සුරේෂ් හෙවත් “රණාලේ චොප්පේ” නමින් හැඳින්වෙන පුද්ගලයෙකි. ඔහු මීට වසර හතරකට පෙර එම වාහන අංගනයේම සේවය කර ඇති අයෙකු වන අතර, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් ඔහුව සේවයෙන් නෙරපා හැර තිබුණි.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















