කැලණිය හුණුපිටිය වේවැල්දූව පාරේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ හදිසියේ ඇති වූ ගින්නකින් නිවසේ උඩුමහල සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
නිදන කාමරයේ ඇඳේ මෙට්ටය මත ලැප්ටොප් පරිගණකය විදුලි ස්විචයට සම්බන්ධ කර තැබීමේදී ඇති වූ විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වන්නට ඇතැයි නිවැසියෝ සැක පළ කරති. ගින්නෙන් උඩුමහලේ තිබූ දරුවන්ගේ පාසල් පොත්පත්, ලිපි ලේඛන, රෙදිපිළි මෙන්ම වහළයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් සූර්ය බල විදුලි පද්ධතියද සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
සිද්ධිය වන අවස්ථාවේදී උඩුමහලේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද, පහත මාලයේ සැමියාගේ දෙමාපියන්ද සිට ඇති අතර, කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පාලනය කර ඇත. කිරිබත්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














