අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. නගරයේ පිහිටි සුප්‍රසිද්ධ කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ (Kennedy Center) ගොඩනැගිල්ලෙහි සවි කර තිබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ වී තිබේ. මෙම පියවර ගනු ලැබුවේ එම ගොඩනැගිල්ලෙන් සහ එහි මෙහෙයුම් කටයුතුවලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කරන ලෙස අධිකරණය ලබා දී තිබූ නියෝගයට අනුවය.
එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා පාලනාධිකාරිය විසින් ඉල්ලා සිටි සහන කාලය දීර්ඝ කිරීමේ ඉල්ලීම් සියල්ලම අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් විසින් ඊයේ (12) ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සේවකයින් විසින් ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුරු ඉවත් කිරීම සඳහා පලංචි සවි කිරීමට පියවර ගත්හ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේදී කලා මධ්‍යස්ථානයේ පැරණි පාලක මණ්ඩලය ඉවත් කර සිය හිතවතුන් පත් කරමින් ගොඩනැගිල්ලේ නමට තම නමද එකතු කර ගෙන තිබුණි. කෙසේ වෙතත්, විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් ප්‍රකාශ කළේ මෙවැනි ජාතික මධ්‍යස්ථානයක නම වෙනස් කිරීමේ බලය ඇත්තේ අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට පමණක් බවයි.
තවද, මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යැයි පවසමින් ඉදිරි වසර දෙකක කාලයට මෙම කලා මධ්‍යස්ථානය වසා දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන තිබූ තීරණය ද විනිසුරුවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත. මේ වන විටත් කෙනඩි මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කර ඇති අතර, ඉදිරියේදී සියලුම ආයතනික ලියකියවිලි සහ ලිපි ශීර්ෂවලින්ද එම නම ඉවත් කරන ලෙස සේවකයින්ට උපදෙස් ලබා දී තිබේ.
















