වසර ගණනාවක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනා’ හෙවත් ‘නෝනා අම්මා’ නැමැති 54 හැවිරිදි පද්මා රංජනී නමැති සැකකාරිය හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජාවාරමින් උපයාගත් මුදල් සමඟ කිරිබත්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම් ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සතුව තිබී විකිණීමට සූදානම් කළ හෙරොයින් ග්‍රෑම් 50ක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවකට බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි තැනැත්තියක් වන ඇය, මෑතකදී පාතාල ගැටුමකින් මියගිය ‘චූටි උක්කුං’ නමැත්තාගේ නැන්දණිය වන අතර, ‘කූඹිකැලේ චූටි’ ලෙස හැඳින්වෙන ඇගේ සැමියාද මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි. සැකකාරියගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා ඇති කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














