සකුරා ලෙජන්ඩ්ස් සංගීත කණ්ඩායමේ ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස කටයුතු කරන කලාකරුවෙකුගේ කිරිඇල්ල, ඉඩංගොඩ, නාරංගස්හේන ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (01) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි කිරිඇල්ල පොලිසිය පවසයි.
නිවසේ පිටුපස ජනේලයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් ජනේලයේ වීදුරුවකට හානි සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කරයි.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු විදේශීය නිෂ්පාදිත බොර 12 වර්ගයේ ගිනි අවියක් ද සමඟ කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ සහ අදාළ ගායකයා අතර පවතින බව කියන අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරිඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














