ලෝක උරුම නකල්ස් ස්වාභාවික වනාන්තරයෙන් ආරම්භ වන ප්‍රධාන ජල ධාරා අටක් සහ දිය ඇලි දහයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ග්‍රැපෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානය අනතුරු අඟවයි. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජල යෝජනා ක්‍රම 05ක් සහ ග්‍රාමීය ජල යෝජනා ක්‍රම 25ක සැපයුම් කටයුතු අඩාළ වෙමින් පවතින අතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් විසි දහසක් පමණ ඉදිරියේදී දැඩි ජල හිඟයකට මුහුණ දීමේ අවදානමක් පවතී.
මහවැලි ගංගාවේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 25ක් නකල්ස් වනාන්තරයෙන් සැපයෙන අතර, මොරගහකන්ද ජලාශය පෝෂණය කරන කළු ගඟ, අඹන් ගඟ සහ තෙල්ගමුව ඔය වැනි ප්‍රධාන ජල ධාරා රැසක් මේ වන විට අවදානමට ලක්ව ඇත. එසේම සේර ඇල්ල, රත්න ඇල්ල සහ දූවිලි ඇල්ල වැනි සුන්දර දිය ඇලිවල ජල පහරවල් ද සිඳී යමින් පවතින බව වාර්තා වේ.













