මෙවර වෙසක් උත්සවයට සමගාමීව, කොළඹ කොල්ලුපිටියේ වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී මැයි මස 30 වැනිදා සිට ජුනි මස 4 වැනිදා දක්වා සුවිශේෂී වෙසක් තොරණක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ‘සුන්දරි’ කථා වස්තුව තේමා කරගනිමින් නිර්මාණය කර ඇති මෙම තොරණ අඩි 55ක උසකින් සහ විදුලි බල්බ ලක්ෂ 2ක ආලෝකයෙන් අලංකෘත වේ.
මෙම නිර්මාණය 1987 වර්ෂයේදී එනම් වසර 39කට පෙර එම ස්ථානයේම ප්‍රදර්ශනය කළ තොරණක ප්‍රතිනිර්මාණයක් වීම විශේෂත්වයකි. එදා කලාසූරී ජයසිරි සේමගේ මහතාගේ සහ මර්වින් සේනාරත්න මහතාගේ දායකත්වයෙන් නිර්මාණය වූ මෙම තොරණ, මෙවර රාජ්‍ය කලාභූෂණ ප්‍රවීණ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය මහතාගේ සහ සෙනානි සේනාරත්න මහත්මියගේ මඟපෙන්වීමෙන් යළි නිර්මාණය වේ.
ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්ද මහතාගේ සංගීත සංයෝජනයෙන් සහ රවීන් කනිෂ්ක හා උරේෂා රවිහාරි වික්‍රමසිංහ යන ශිල්පීන්ගේ පසුබිම් ගායනයෙන් මෙම තොරණ හැඩගැන්වේ. 1987 වසරේ මුල් නිර්මාණයේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා විසින් සිදුකළ සංගීත නිර්මාණය සහ ගායනය වෙසක් සංස්කෘතියේ සදාකාලික මතකයක් ලෙස පැවතීම නිසා, මෙම ප්‍රතිනිර්මාණය බොහෝ දෙනාගේ නොමඳ අවධානය දිනාගනු ඇත.
















