ජාතිය හෝ ආගම කුමක් වුවත් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) කෝපායි පොලිස් ස්ථානය සඳහා අලුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වැය කරමින් වසරක පමණ කාලයක් තුළ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල මගින් මහජනතාවට සපයන පොලිස් සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවේදී පැරණි පොලිස් ස්ථානය පිහිටි ඉඩම එහි නියම අයිතිකරුවන්ට නැවත පවරා දීමේ සංකේතාත්මක වැඩසටහනක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදී ප්‍රතිලාභීන් හත්දෙනෙකුට නිවාස යතුරු ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට කාර්යක්ෂම, විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීම තම මූලික වගකීමක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමරන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකත්වයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ
















