ගල්අඟුරු වංචාව යටපත් කිරීමේ අරමුණින් ඉංජිනේරුවන්ට ලක්ෂ ගණනින් දීමනා ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා චෝදනා කරයි. ගල්අඟුරු බලාගාරයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙලෙස “කප්පම්” ස්වරූපයෙන් දීමනා ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
විදුලිබල මණ්ඩලය සමාගම් හයකට වෙන් කිරීම නිසා සේවකයන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත්, ඉහළ නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබා දෙමින් පහළ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට ජනන, සම්ප්‍රේෂණ සහ පද්ධති පාලන යන සියලු සමාගම් බරපතළ මූල්‍ය අර්බුදයක පවතින බවත්, බෙදාහැරීම් සමාගම් පවා අඩාල වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය සමස්ත විදුලි පාරිභෝගිකයන්ට ඍජුවම බලපාන ඛේදනීය තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කළේය.














