කුඹුකන් ඔය ජලාශ ව්යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වී තිබේ.
මෙහිදී ව්යාපෘතිය ආරම්භ කිරීමට අදාළ අමාත්ය මණ්ඩල පත්රිකාව ඉදිරිපත් කිරීම, ව්යාපෘතිය සඳහා අරමුදල් සපයා ගැනීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති කරුණු සහ ජලාශය ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාව සුදුසු ස්ථානවල නැවත පදිංචි කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
පවරා ගන්නා ඉඩම් සඳහා සාධාරණ වන්දි ලබාදීම සහ නැවත පදිංචි කිරීම සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට ප්රාදේශීය ලේකම් කාර්යාල හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 800ක් පමණ පවරා ගැනීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
මොනරාගල, බඩල්කුඹුර ඇතුළු ප්රාදේශීය ලේකම් කොට්ඨාස හයක 50,000කට අධික පිරිසකට පානීය ජලය සැපයීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණක් වන අතර, ව්යාපෘති වාර්තාව වර්තමාන අවශ්යතාවලට ගැළපෙන පරිදි යළි සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
කුඹුකන් ඔය ජලාශ ව්යාපෘතිය මගින් නව ඉඩම් අක්කර 9,440කට සහ දැනට වගා කෙරෙන ඉඩම් අක්කර 3,975කට ජලය සපයා වගා තීව්රතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
ව්යාපෘතිය යටතේ කිලෝමීටර් 29ක වම් ඉවුර ප්රධාන ඇළ මාර්ගයක් සහ කිලෝමීටර් 7.5ක දකුණු ඉවුර ප්රධාන ඇළ මාර්ගයක් ඉදිකිරීමටත්, විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමටත් යෝජිතය. මීට අමතරව මිරිදිය ධීවර කර්මාන්තය හා පශු සම්පත් සංවර්ධනය, මධ්යම ප්රමාණයේ ජලාශ හයක් සහ අමුණු තුනක් ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම මෙන්ම සුළු පරිමාණ වාරි පද්ධති 27ක් ප්රතිසංස්කරණය කිරීමද සැලසුම් කර තිබේ.
නැවත පදිංචි කරන ජනතාව වෙනුවෙන් නිවාස, මාර්ග, පාසල් සහ අනෙකුත් පොදු පහසුකම් ඇතුළත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද මෙම ව්යාපෘතියට ඇතුළත් වේ.
මෙම සාකච්ඡාවට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්ය අමාත්ය සහ මොනරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ආර්.එම්. ජයවර්ධන මහතා ඇතුළු මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම්වරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්රතිලාභ ලබන ගොවි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.















