අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි ගැබිනි මවකගේ සහ ඇගේ නොමේරූ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සමත්වී ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් වන පරිදි, මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙනි. සති 34ක ගැබිණියක්ව සිටි මෙම මව පළමුව මාවතගම රෝහලට ඇතුළත් කර තිබුණේ අධික රුධිර පීඩනය සහ වලිප්පුව හේතුවෙනි. තත්ත්වය බරපතළ වීම නිසා ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ද ඇයට යළි වලිප්පුව සෑදීම සහ රුධිර පීඩනය ඉහළ යාම නිසා දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇත.
එම අවස්ථාවේදී නෝම්බි ඇරීමට සූදානම් වෙමින් සිටි වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට රෝහලෙන් හදිසි කැඳවීමක් ලැබී ඇත. වහාම රෝහල වෙත පැමිණි ඔහු මවගේ පරීක්ෂා කිරීම්වලදී ඇයගේ හෘද ස්පන්දනය නැවතී ඇති බව හඳුනාගෙන තිබේ. මව සහ දරුවා බේරා ගැනීමට නම් හදිසි සැත්කමක් මගින් වැදෑමහ ඉවත් කළ යුතු බවත්, එවිට රුධිර පීඩනය පාලනය වී හෘද ස්පන්දනය යළි ආරම්භ වන බවත් ඔහු තීරණය කර ඇත. තත්පර 30ත් මිනිත්තුවත් අතර ඉතා කෙටි කාලසීමාවක් තුළ වෛද්‍ය ෂිහාබ්දීන් මහතා මෙම සිසේරියන් සැත්කම සාර්ථකව අවසන් කර මවගේ සහ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට සමත් වී තිබේ. සති 34කදී උපන් මෙම බිළිඳා මේ වන විට නොමේරූ දරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා වෛද්‍යවරයාගේ වෘත්තීය දක්ෂතාවය සහ මානව හිතවාදී ක්‍රියාව අගය කරමින් සිය අදහස් පළ කර ඇත.














