මුහුදු පරිසර පද්ධතියට සහ වනජීවී සංරක්ෂණයට තර්ජනයක් වන අයුරින් වටිනා මුහුදු බෙල්ලන් විශේෂයක් වන වාලම්පුරි සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි දඩ මුදලක් නියම කර තිබේ. ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව වයඹ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය, රිටිගල අඩවි ආරක්ෂක සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව සිදුකළ සාර්ථක වැටලීමකින් මෙම සැකකරුවන් ඉකුත් ජනවාරි මස කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම වැටලීමේදී කොරෝනියා ට්‍රයිටෝනිස් සහ ටුටුනා බුබෝ යන දුර්ලභ වර්ගවලට අයත් මියගිය බෙල්ලන්ගේ කවච දෙකක් සොයාගත් අතර, නඩු විභාගයෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් සැකකරුවෙකුට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහස බැගින් සැකකරුවන් තිදෙනාටම සමස්තයක් ලෙස රුපියල් පන් ලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් ගෙවන ලෙසයි. මීට අමතරව, ජාවාරම සඳහා භාවිත කළ බවට ජංගම දුරකතනයක් සහ අදාළ සත්ව කොටස් රාජසන්තක කිරීමටද නියෝග කෙරුණු අතර, ඒවා වැඩිදුර කටයුතු සඳහා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වෙත භාරදෙන ලෙසද අධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කර ඇත.
මෙවැනි පරිසර අපරාධ සහ වනජීවී ජාවාරම් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බවට මෙම අධිකරණ තීන්දුව මඟින් පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ. දුර්ලභ මුහුදු සම්පත් සහ වනජීවී විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ නීතිමය ආයතන එකමුතුව ක්‍රියාත්මක වන මෙවැනි දැඩි මෙහෙයුම් හරහා මෙරට සිදුවන නීති විරෝධී සමුද්‍රීය හා වනජීවී ජාවාරම් මැඩපැවැත්වීමට තවදුරටත් ශක්තියක් ලැබෙනු ඇත.














