කුරුවිට සහ මීගමුව පල්ලන්සේන බන්ධනාගාර දෙකෙහිම පාලනය මේ වන විට මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. අද (අගෝස්තු 07) උදෑසන කාලයේදී මෙම බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබේ.
අද උදෑසන මුලින්ම කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පසුව එය මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය තුළද ක්‍රියාත්මක විය. මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, අවාසනාවන්ත ලෙස රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පල්ලන්සේන බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරනු ලැබීය.
මෙම හදිසි තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), පොලිස් කැරලි මර්දන ඒකකය, යුද හමුදාව සහ ගුවන් හමුදාවේ සහයෝගයද ලබා ගැනීමට සිදුවිය. කෙසේ වෙතත්, මේ වන විට අදාළ බන්ධනාගාර දෙකෙහිම පාලනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, ආරක්ෂාව තර කිරීමටද අදාළ අංශ දැඩි පියවර ගෙන තිබේ.














