අද අපේ ජනතාව දෙවියන් වහන්සේට ඇස් ඔසවන්නෙත් නැහැ, හදවත ආරක්ෂා කරන්නෙත් නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස යමින් ලෞකික ජීවිතය තුළ පමණක් අධ්‍යාපනය, බුද්ධිය, මනස, ඥානය දියුණු කරගෙන යනවා. ළමයින්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය අද හරි දියුණුයි. තාක්ෂණය අද හරි දියුණුයි. ඒ වගේ ලොකු ශීඝ්‍ර දියුණුවක් කරා යනවා. නමුත් කවුරුවත් තමන්ගේ හදවත් ආරක්ෂා කරන්නෙත් නැහැ, දෙවියන් වහන්සේට තමන්ගේ දෙනෙත් ඔසවන්නෙත් නැහැ. දරුවන් යහපත් වෙන්න නම් දරුවන්ගේ ඔළුව විතරක් හදලා බැහැ. ඔළුව වගේම දරුවන්ගේ හදවතත් හදන්න ඕනේ. අධ්‍යාපනය වගේම දරුවන්ගේ හදවතට ආධ්‍යාත්මික පෝෂණයත් දෙන්න ඕනේ. අද දරුවා ගෙදරදී හැදුවේ නැත්නම් ලොකු වෙලා හැදෙන්නෙත් නැහැ. ලොකු වෙලා කසාද බැඳලා හැදන්නෙත් නැහැ.
ශුද්ධ වූ ආනා මුනිශ්වරිය ඇවිල්ලා අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දෙන, අධ්‍යාපනය පෝෂණය කරන්නා වූ එතුමිය අධ්‍යාපනය, මනස පමණක් නොව හදවත ද ආධ්‍යාත්මිකව පෝෂණය කරන අධ්‍යාපනයට සාන්තුවරිය හැටියට තමයි ඇය ප්‍රචලිත වෙන්නේ. ඒ නිසා අද මනස, ඔළුව, ඥානය, බුද්ධිය විතරක් පෝෂණය වී ගෙන යන ස්වර්ගයට ඇස් ඔසවන්නේ නැති හදවත් පෝෂණය වෙන්නේ නැති පරම්පරාවක් බිහිවේගන යන කාලයක් තුළ ශුද්ධ වූ ආනා මුනිශ්වරියගෙන් අපි අද ඉල්ලන්න ඕනේ ස්වර්ගයට ඇස් ඔසවන, හදවත් පෝෂණය වන, වරප්‍රසාදීය යහපත් ජීවිතයක් උදෙසා මැදිහත්වීම යැයි රත්නපුර රදගුරු ඇන්ටන් වයමන් කෲස් රදගුරු තුමා කුරුවිට පැරඩයිස්හිදී ප්‍රකාශ කළේය.
කුරුවිට පැරඩයිස් හි ශුද්ධ වූ ආනා මුනිශ්වරියගේ දෙව්මැඳුරේ 125 වන ජුබිලි මංගලෝත්සවයේ මංගල්‍යය ගායනා මහ දිව්‍ය පූජාව පවත්වමින් උන්වහන්සේ එසේ අවධාරණය කළ අතර පදවි අනුනායක ටෙක්සි දිසානායක, පදවි භාණ්ඩාගාරික බී. ඇන්ටන් ශ්‍රියාන්, පදවි රදගුරු ලේකම් ෂේන් වික්‍රමසිංහ, ගුරුගල්ල මීසම් සේවක ඩෙන්සිල් ප්‍රියංකර, රත්නපුර සහයක බෙනඩික්ට් ප්‍රනාන්දු හා කුරුවිට පැරඩයිස් සංඝයේ පුතකු වන ලක්මාල් පෙරේරා යන පියතුමෝ දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා එතුමන් සමග හවුල් වූහ.
පදවි අනුනායක හා රත්නපුර මීසම් සේවක ටෙක්සි දිසානායක පියතුමාගේ මෙහෙයවීමෙන් රත්නපුර සහයක බෙනඩික්ට් ප්‍රනාන්දු පියතුමා විසින් කුරුවිට පැරඩයිස් කිතුනු සංඝය, තරුණ සහ වැඩිහිටි ක්‍රියාකාරීන්, පැවිදි සොහොයුරියන් හා රත්නපුර ගායනා කණ්ඩායමේ සහයෝගයෙන් හා කැපවීමෙන් මෙම ජුබිලි මංගලෝත්සව දිව්‍ය පූජාව සංවිධානය කළ අතර රදගුරු තුමා විසින් 125 වන ජුබිලි මංගලෝත්සවය සංකේතවත් කරමින් දෙව්මැඳුරේ 125 ජුබිලි සමරු ඵලකය ආසිරි ගන්වා විවෘත කිරීම ද අනුනායක පියතුමා විසින් වසර 125 ක පැරඩයිස් කිතුනු ඉතිහාසයේ සමරු කලාපය රදගුරු හිමිපාණන්ට පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය. තවද කුරුවිට පැරඩයිස් වසර 125 ජුබිලි මංගලෝත්සවයේ සන්ධ්‍යා යැදුම් මෙහෙය පදවි සසුන් අධිකරණය භාර නිරෝෂන් වාස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර මීසම් දිසාවේ මීසම් සේවක පියතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.














