ඉරාන යුද්ධයට අදාළ සංවේදී දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීම හේතුවෙන් VICE, HuffPost සහ Al Jazeera යන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල සේවය කර ඇති කුවේට්-අමෙරිකානු මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් (Ahmed Shihab-Eldin) කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සති හයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවන බවට වාර්තා වන අතර, අසත්‍ය තොරතුරු පැතිරවීම සහ ජාතික ආරක්ෂාවට හානි කිරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී ඇත.
කුවේටයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇතුළු දර්ශන පළ කිරීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවකි. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) පෙන්වා දෙන්නේ ඔහු බෙදාගත් දර්ශන දැනටමත් ප්‍රසිද්ධියට පත් වූ ඒවා බවත්, ඔහුව වහාම නිදහස් කළ යුතු බවත්ය. ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් මේ වන විට දැඩි නීතිමය පියවර ගනිමින් සිටී.














