විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට වැඩිම විදේශ විනිමයක් එවනු ලබන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන පිරිස් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි සභාපති කෝශල වික්‍රමසිංහ පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණය කරමින් පෙන්වා දෙන්නේ වසරකට ලක්ෂ 3කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වන අතර ඉන් 30%ක්ම (80,000ක් පමණ) තෝරාගන්නේ කුවේට් රාජ්‍යය බවයි. පසුගිය 2025 වසරේදී පමණක් කුවේට්හි සිටින ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක මුදලක් මෙරටට එවා තිබේ.
ලංකාවට දෙවැනියට වැඩිම විදේශ ප්‍රේෂණ ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙන් වන අතර, තෙවැනියට වැඩිම මුදල් ප්‍රමාණයක් එවනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවය කරන ශ්‍රී ලාංකිකයන්ය. මීට අමතරව සෞදි අරාබිය, ඇමෙරිකාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය ද ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ලාංකිකයන් වෙසෙන සෙසු ප්‍රමුඛ රටවල් ලෙස කාර්යාංශය හඳුනාගෙන ඇත.
















