කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ඩෙංගු මදුරු කීටයන් බෝවී තිබියදී සොයා ගැනීමත් සමඟ, එම රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෛද්‍ය නිලධාරී කාර්යාලය සූදානම් වේ.
පසුගිය සිකුරාදා (10) දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මදුරු මර්දන වැඩසටහන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී මෙම මදුරු බෝවන ස්ථාන හඳුනාගෙන ඇත. රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලක් සහ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන ඇතුළු ස්ථාන 12ක ඩෙංගු මදුරුවන් සහ මදුරු කීටයන් බෝවී තිබූ බව අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරිවත්ත මහතා පැවසුවේ, රෝහලේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය විසින් අදාළ ස්ථාන නිසි ලෙස පිරිසිදු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතාගේ ද මතය බවයි.
දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 50ත් 75ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින අතර, වෙනත් රෝගාබාධ සඳහා දරුවන් 1,200ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මීට පෙරද රෝහල් පරිශ්‍රය තුළ මදුරු බෝවන ස්ථාන හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේදීත් නීතිමය පියවර ගෙන තිබිණි.
















