ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටු රැස්වීම පැවැත්විණි. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වූ අභියෝග කළමනාකරණය කළ ආකාරයටම, එල්-නිනෝ තත්ත්වය ද සාර්ථකව කළමනාකරණය කිරීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍යවරු පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කරගැනීම සහ පානීය ජල සැපයුම සුරක්ෂිත කිරීම පිළිබඳව අවධානය යොමු විය. එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා විධිමත් සැලසුම් සකස් කර ඉදිරි විශේෂ රැස්වීමකදී ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන වෙත උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගි වූහ.
















