27 April 2024
#දේශීය

නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කෙරේ

“දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම පසුගිය 31 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ ඕකිඩ් ශාලාව තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් දිගුකාලීනව සිදු කරන ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහනක් ලෙස ප්‍රාදේශීයව කර්මාන්තපුර පිහිටුවීම හා සංවර්ධනය කිරීම ද වේ. නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කර්මාන්ත සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත් ප්‍රදේශයේ සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සහිත කර්මාන්ත ප්‍රාදේශීය මට්ටම වෙත ව්‍යාප්ත කිරීමත් ග්‍රාමීය සේවා නියුක්තිය ඉහළ වැටුප් සහිතව සංවර්ධනය කිරීමත් දේශීය ආර්ථිකය ගෝලීය වශයෙන් ඉහළ තරගකාරී මට්ටමකට ගෙන ඒමත් සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

ඒ යටතේ මෙම අමාත්‍යාංශය විසින් ජලය, විදුලිය, මාර්ග පහසුකම් හා සියලු යටිතල පහසුකම් සහිතව කර්මාන්තපුර 32ක් සංවර්ධනය කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජය මේ දක්වා රුපියල් මිලියන 4517ක් පමණ වැය කර ඇත. එම කර්මාන්තපුරයන්හි කර්මාන්ත සඳහා පෞද්ගලික ආයෝජකයන් විසින් කරනු ලැබ ඇති ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 36500ක් පමණ වේ. ඒ තුළ ඇඟලුම්, පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන, ආහාර සැකසුම්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කාබනික ආහාර නිෂ්පාදන, ඉවතලන රබර් ප්‍රතිචක්‍රීකරණය ආදී කර්මාන්ත රැසක් ආරම්භ කර ඇත. 2019 වසරේ දී එකී කර්මාන්තපුර තුළ නිෂ්පාදිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකාව ඉපයූ සෘජු හා වක්‍ර අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 84ක් පමණ විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්‍රස්ථා විවර කරමින් 2020 අගෝස්තු මස සිට මේ දක්වා කාලය තුළ නව ආයෝජන සඳහා කර්මාන්තපුර තුළ ඉඩම් කොටස් 57ක ප්‍රමාණයක් වෙන් කර ඇත. එහි දී රුපියල් මිලියන 570ක් ආයෝජනය කරමින් නව රැකියා අවස්ථා පන්දාහක් පමණ නිර්මාණය කර ඇත.

නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් නව ආයෝජකයන් විසි දෙනෙකු සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමේ ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *