ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ ණය වාරික දෙක ලබා ගැනීමට පෙර, ලෝක බැංකු කොන්දේසි ප්‍රකාරව මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ දැඩි සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බව ලංකා සී නිවුස් (Lanka C News) පුවත් සේවය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවලට අනුව, භාණ්ඩ හා සේවා සැපයීමේදී ශ්‍රී ලංකා රජය විසින් පිරිවැය නොපියවෙන පරිදි සහනාධාර මත ඒවා අලෙවි නොකළ යුතු අතර, ඒ වෙනුවට සැබෑ පිරිවැය (Cost-reflective pricing) නිරූපණය වන පරිදි මිල නියම කළ යුතුය.
මේ පිළිබඳව මෑතකදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශ කර තිබුණේ ඩීසල් ලීටරයක සැබෑ මිල මේ වන විට රුපියල් 720ක් පමණ වුවද, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට එය ලබා දෙන්නේ ඊට වඩා බෙහෙවින් අඩු මිලකට බවයි. එහිදී රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් සියයකට ආසන්න විශාල සහනාධාරයක් දරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසිවලට අනුකූල වෙමින් සැබෑ පිරිවැය ජනතාව මත පැටවීමට රජයට සිදුව ඇති අතර, එළැඹෙන මැයි 27 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය වාරික සමාලෝචන රැස්වීමට ප්‍රථම මෙම ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්යයෙන්ම සිදු කිරීම කෙරෙහි බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
















