27 April 2024
#දේශීය

ආගම් විවේචනය කරන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීම ජනතාව සතු වගකිමක් – ලාන්සා කියයි

ආගම් සහ ආගමික නායකයින් විවේචනය කරනු ලබන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දින කටාන පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

බෞද්ධ සංස්කෘතිය තුළින් පෝෂණය වන ශ්‍රී ලංකාව තුළ කතෝලික, හින්දු, ඉස්ලාම් ඇතුළු අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම අපගේ වගකීමක්. ආගමික ඉගැන්වීම් හා අනුශාසනා තුළින් යහපත් සමාජයක් බිහි කිරීමට කටයුතු කරන ආගමික නායකයින්ගේ සිත් රිදවීම හෝ විවේචනය කිරීම කිසිදු පක්ෂයක් හෝ පුද්ගලයකු විසින් සිදු නොකළ යුතුයි. එය ඔවුන්ගේ පරිහානියට හේතුවක් බව ලාන්සා මහතා පැවසීය.

සිය ආගමික පරිසරයන් තුළින් හැදීවැඩි පෝෂණය වන පිරිස් තම තමන්ගේ ආගම් කෙරෙහි වඩාත් සංවේදී වන අතර විශේෂයෙන් දේශපාලඥයින් ආගම් හෝ නායකයින් විවේවචනය කිරීමෙන් රට තුළ ගැටුම් ඇතිවීම පවා සිදුවිය හැකියි.
එවැනි තත්ත්වයකට පත් නොකිරීමට වගකීමෙන් කටයුතු කිරීම දේශපාලඥයන්ගේ යුතුකමක් බව නිමල් ලාන්සා මහතා පැවසීය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් ආගම් වලට හා ආගමික නායකයින්ට ගරු නොකිරීම ඉතිහාසයේ සිටම අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා. එයින් ඔවුන් ලද දේ නම් පැවති මැතිවරණ පරාජයට පත්වීම හා ජනතාව ක්‍රමක් ක්‍රමයෙන් එම බලවේග තුළින් ඉවත් වීම බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *