ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් ලෙස, ‘ණය මිලදී ගැනීමේ’ (Debt Buyback) ක්‍රමවේදය හරහා විදේශ ණය කොටසක් පියවා දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන ලාසාර්ඩ් ෆ්‍රෙරෙස් (Lazard Freres) සමාගම සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) අධ්‍යක්ෂ ජනරාල් උදේනි උඩුගහපත්තුව මහත්මිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මීට පෙර සැම්බියාව වැනි රටවලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සාර්ථකව උපදෙස් ලබා දුන් ලාසාර්ඩ් සමාගමේ විශේෂඥ සහය මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මෙම මූල්‍ය ගනුදෙනු අතිශය සංකීර්ණ බැවින් සහ මෙරට නිලධාරීන්ට ඒ පිළිබඳ විශේෂඥ පුහුණුවක් තවමත් නොමැති බැවින්, ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. රජයේ ආදායමට සාපේක්ෂව පොලී ගෙවීම් අනුපාතය 2023 වසරේ පැවති 80% සිට 2025 වසර වන විට 44% දක්වා පහත වැටී ඇත. මෙය වසර හයකට පසු වාර්තා වූ අවම අගය වීම විශේෂත්වයකි. එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පොලී පිරිවැය 8% දක්වා අඩු වී ඇති අතර, රජයේ මුළු ආදායම රුපියල් ට්‍රිලියන 5.486 දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් අමාත්‍යාංශ දත්තවලට අනුව, 2030 සහ 2038 අතර කාලය තුළ කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ සාර්ව-සම්බන්ධිත බැඳුම්කර ප්‍රමාණයක් පවතී. මෙම ණය බර කළමනාකරණය කර ගැනීම සඳහා සැම්බියාව අනුගමනය කළ ණය මිලදී ගැනීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද යොදාගත හැකි බව ලාසාර්ඩ් සමාගම යෝජනා කර ඇත. සැම්බියාව මෑතකදී ඇමරිකානු ඩොලර් බිලියන 1.36ක යුරෝ බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගනිමින් සිය ණය පීඩනය ලිහිල් කර ගැනීමට සමත් විය. 2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 32.195ක් ලෙස සටහන් වන අතර, ඉන් 37.5%ක් එනම් රුපියල් ට්‍රිලියන 11.675ක් විදේශ ණය වේ.














