27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය ‘හරිතමය ලකුණක්’ බවට පත් කිරීමට පුරෝගාමීත්වය ලබාදෙනවා – ඇමැති විමල්

‘හරිත සංකල්පය යටතේ කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම’ ඇතුළු එකඟතා අනුව යමින් නව කර්මාන්ත කලාප ඉදිකිරීම ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු කටයුතු ඉටු කරමින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ, ‘හරිතමය ලකුණක්’ බවට පත් කිරීමට අවශ්‍ය පුරෝගාමීත්වය ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කර්මාන්ත අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර ඊයේ (30) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය ඉදිරි වසර 05 සඳහා ඩොලර් මිලියන 18ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කොට තිබෙනවා. විශේෂයෙන් මෙරට කාර්මිකකරණයේ දී පරිසර හානිය අවම කිරීම, හරිත සංකල්පය යටතේ කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම, ඒ සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් සකස් කිරීම හා කර්මාන්ත ප්‍රතිපත්තියට අදාළ කරුණු ප්‍රවර්ධනය කිරීම යන මූලික කරුණු සම්බන්ධයෙන් තමයි අද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මැතිතුමන් සහ මෙරට UNIDO නියෝජිත ආචාර්ය රිනෙ වෑන් බර්කල් (Dr. Rene Van Berkel) අතර එකගතා ගිවිසුමකට අත්සන් තැබූණේ.” යැයි අමත්‍යවරයා කියා සිටියේය.

මෙරටට අදාළව කාර්මික සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 18ක ප්‍රදානය UNIDO ආයතනය විසින් සිදුකර ඇත.

මෙරට කෘෂි ආහාර ( Agri- Food) අංශයේ සංවර්ධනය සඳහා වඩාත් හොඳ ක්‍රමවේදයක් අනුගත කිරීම පළමු ව්‍යාපෘතිය වන අතර වසර හතරක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 6.5ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට ඇත. දේශගුණයට යෝග්‍ය, තිරසාර වෙළදපොළ ඉල්ලුමක් ඇති කෘෂි ආහාර සංරක්ෂණය ඉලක්ක කොටගෙන මෙම ව්‍යාපෘතිය දියත් වේ. මෙය වෙළද, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙවන ව්‍යාපෘතිය මෙරට දේශගුණ විපර්යාස අවම කිරීම සදහා වන ව්‍යාපෘතියක් වන අතර වසර පහක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 7.8ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ. දේශගුණය පිළිබඳ පැරිස් එකගතාව අනුව කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පරිසර සහ බලශක්ති අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් මගින් අධීක්ෂණය කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *