21 May 2024
#දේශීය #පුවත්

බාර් ලයිසන් ගැන අසත්‍ය චෝදනා එල්ල කළ ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නවා -සජබ මහලේකම් රංජිත්

තමා මත්පැන් අලෙවිසැලක් සඳහා බලපත්‍රයක් ලබාදුන් බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව එල්ල කළ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ‘‘ස්වාමීන් වහන්සේ නමක් චෝදනා කරලා තිබෙනා මම මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍රයක් ලබාදීලා තිබෙනවා කියලා. මම අවුරුදු 35 ක් පාර්ලිමේන්තුවේ සිටිනවා. අවුරුදු 35 ටම මම කාටවත් මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍ර ලබාදීලා නෑ. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මගේ ලග හිටපු ආරක්ෂක නිලධාරියෙකුට. ඒ ආරක්ෂක නිලධාරියාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව සොයන්න අයිතියක් අපට නෑ. ස්වාමීන් වහන්සේ මට චෝදනා කරලා තිබෙන්නේ කිසිදු කරුණක් පිළිබඳව සොයන්නේ බලන්නේ නැතිව. අවුරුදු 35 ක පාර්ලිමේන්තු ජිවිතයේ හොරෙක් වංචාකාරයෙක් කියලා මට චෝදනා එල්ල වෙලා නෑ. අවුරුදු 35 ක කාලය තුළ මම මත්පැන් වෙළඳසැලක් සඳහා බලපත්‍රයක් ලබාදීලා තිබෙනවානම් එය උප්පු කරන්න. මගේ කීර්ති නාමයට අපහසයක් වුණ නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. අසත්‍ය චෝදලා එල්ල කළ ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වෙලා සිටිනවා. මැතිවරණයක් තිබෙන කාලයේ මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරිම වැරදි කටයුත්තක්. පක්ෂයට මඩ ගහන්න කරපු කටයුත්තක් ලෙස තමයි මම මේ කටයුත්ත දකින්නේ.‘‘යැයි මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *