ලිදුල පොලිස් වසමේ තේ වතුයායක පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිණියක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ 40 හැවිරිදි දෙදරු පියෙකු ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුවිය එම වතුයායේ පිහිටි පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන අතර, ඇයගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් සැක සිතූ පාසල් ගුරුවරියක් ඒ පිළිබඳව ඇයගේ මවට දැනුම් දී තිබෙනවා. මව විසින් දියණියගෙන් කරුණු විමසීමෙන් පසු, පසුගිය 21 වන දින ලිදුල පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ලිදුල පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිසුවිය රෝහල්ගත කර සිදු කළ පරීක්ෂණවලදී ඇය මාස දෙකක ගැබිණියක් බව තහවුරු වී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.
සැකකරු සිසුවිය පදිංචි වතුයායේම පදිංචිකරුවෙකු වන අතර, ඔහුව අද (22) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ලිදුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














