ආර්ජන්ටිනා පාපන්දු සුපිරි තරුවක් වන ලියොනල් මෙසී ස්පාඤ්ඤයේ පස්වන පෙළ ලීගය නියෝජනය කරන කොර්නෙල්ලා (Cornella) පාපන්දු සමාජය මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. මේ වන විට අමෙරිකාවේ ඉන්ටර් මියාමි කණ්ඩායම නියෝජනය කරන 38 හැවිරිදි මෙසී, කැටලෝනියාව සමඟ පවතින සිය සමීප සබඳතාවය සහ දේශීය දක්ෂතා නංවාලීම වෙනුවෙන් මෙම ආයෝජනය සිදුකර ඇති බව කොර්නෙල්ලා සමාජය නිල වශයෙන් නිවේදනය කර ඇත. අට වතාවක් බැලන්ඩෝර් සම්මානය දිනාගත් මෙසී මෙලෙස සිය වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගත කළ බාර්සිලෝනා ප්‍රදේශයට නුදුරු කණ්ඩායමක හිමිකාරිත්වය ලබාගැනීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂ අවධානයකට ලක්ව තිබේ.
බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත ගෝල 672ක් රැස් කළ මෙසීගේ මෙම නව පියවර හරහා කොර්නෙල්ලා සමාජයේ ආයතනික සහ ක්‍රීඩාමය වර්ධනයක් අපේක්ෂා කෙරේ. මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මෙසීගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද ස්පාඤ්ඤයේ අල්මේරියා කණ්ඩායමේ කොටස් හිමිකාරිත්වයක් ලබාගත් අතර, ප්‍රවීණ ක්‍රීඩකයින් මෙලෙස පාපන්දු සමාජ හිමිකාරිත්වයට පිවිසීම වර්තමානයේ නව ප්‍රවණතාවක් බවට පත්ව ඇත. ආර්සනල් ගෝල රකින්නා වන ඩේවිඩ් රායා මෙන්ම ජෝර්ඩි ඇල්බා වැනි දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කළ කොර්නෙල්ලා සමාජය, මෙසීගේ පැමිණීමත් සමඟ සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානමින් සිටියි.














