දිවයින පුරා ගෑස් සැපයුම ශක්තිමත් කිරීමේ අරමුණින් ඔක්තෝබර් 27 වැනිදා වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
සමාගම සඳහන් කළේ, ඔක්තෝබර් 22 වැනිදා මෙරටට පැමිණි නෞකාවෙන් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් ලැබුණු අතර, එම තොගයෙන් ගෑස් සිලින්ඩර 350,000ක් ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවල බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවයි.
ඊට අමතරව, ඔක්තෝබර් 24 වැනිදා GOODWILL නෞකාවෙන් තවත් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් මෙරටට රැගෙන ආ බවත්, තවත් ගෑස් නෞකාවක් ඔක්තෝබර් 26 වැනිදා පැමිණීමට නියමිත බවත් සමාගම සඳහන් කර ඇත.
මෙම සැපයුම් හරහා ඉදිරි දිනවලදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් පවසයි.
















