වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතා සැලකිල්ලට ගනිමින්, ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් ඔක්තෝබර් 27 වනදා වන විට දිවයින පුරා බෙදාහැරීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
සමාගමට අනුව, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඔක්තෝබර් 22 වැනිදා මෙරටට පැමිණ ඇති අතර, එම තොගයෙන් සිලින්ඩර 350,000ක් ඔක්තෝබර් 23 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
එයට අමතරව, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් GOODWILL නෞකාව ඔක්තෝබර් 24 වැනිදා මෙරටට ළඟා වී ඇති අතර, තවත් ගෑස් නෞකාවක් ඔක්තෝබර් 26 වැනිදා පැමිණීමට නියමිත බව සමාගම සඳහන් කර ඇත.
මෙම සැපයුම් සමඟ ඉදිරි දිනවලදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.














