පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීමකින් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන යටතේ ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් දිවයින පුරා ආරම්භ කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහනට සමගාමීව මෙහි සමාරම්භක උත්සව දිවයින පුරා පැවැත්විණි. ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ද, හම්බන්තොට වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ද, කුරුණෑගල වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ද ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘති යටතේ වෙළඳ සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, සූර්ය බලශක්ති පද්ධති, සංචාරක පහසුකම් සංවර්ධනය, රථ ගාල්, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාංගණ සහ අවමංගල්‍ය ශාලා ඇතුළු ආදායම් ගෙන දෙන ව්‍යාපෘති රැසක් පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. කාලයක් තිස්සේ අකාර්යක්ෂම වී තිබූ පළාත් පාලන ආයතනවල සේවාවන් නංවාලමින්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි අරමුණයි.
















