මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක (මිලියන 330ක) මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ලොකු පැටී” නමැත්තා ලබන ජූනි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (12) නියෝග කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ සිදු කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම සිද්ධියටම අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නඩු දිනයේදී ඇප මත මුදා හැර තිබුණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී, එහි පළමු සැකකරු බන්ධනාගාරයේ සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. මේ අනුව සිද්ධියට අදාළ නඩුව ලබන ජූනි මස 26 වැනිදා නැවත කැඳවීමට අධිකරණය තීරණය කළේය.















