ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අවහිරතාවට ලක්ව ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආරක්ෂිතව යළි විවෘත කිරීමේ අරමුණින් රටවල් 30කට අධික සංඛ්‍යාවක හමුදා සැලසුම්කරුවන් සහභාගී වන දෙදින සාකච්ඡාවක් අද (22) ලන්ඩනයේදී ආරම්භ වේ. බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ඒකාබද්ධ මෙහෙයුමක විධිමත් සැලසුම් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කරන මෙම ජාත්‍යන්තර මෙහෙයුමට එක්වීමට රටවල් දොළහකට අධික සංඛ්‍යාවක් දැනටමත් කැමැත්ත පළ කර තිබේ. පසුගියදා යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග රටවල් 50ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වූ වීඩියෝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති අතර, එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මිත්‍ර රටවල සහාය අවශ්‍ය නොවන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස ද සැලකේ.
ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සිදුකෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය අවහිර වීම නිසා ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙම සාකච්ඡා හරහා එම සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත් කිරීමේ යුදමය සහ තාක්ෂණික සැලසුම් සකස් කිරීමට නියමිතය.














