ඉහළ යන ජෙට් ඉන්ධන මිල සහ දිගින් දිගටම සිදුවන කම්කරු වැඩවර්ජන හේතුවෙන් සිය ප්‍රාදේශීය අනුශාඛාවක් වන ‘Lufthansa CityLine’ ගුවන් සේවය වසා දැමීමට ජර්මනියේ ලුෆ්තන්සා සමූහය අද (16) තීරණය කළේය. ව්‍යාපාරික පාඩු අවම කරගැනීම සඳහා ගත් මෙම ක්ෂණික තීරණයට අනුව, අනිද්දා සිට එම ගුවන් සේවයට අයත් ගුවන් යානා 27ම පියාසර කාලසටහනෙන් ස්ථිරවම ඉවත් කෙරේ.
ලුෆ්තන්සා ආයතනය පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් යානා සඳහා භාවිත කරන භූමිතෙල් (Kerosene) මිල දෙගුණයකට වඩා වැඩි වී ඇති බවයි. මෙම අධික පිරිවැය සහ පවතින වැඩවර්ජන හමුවේ සිය උපායමාර්ගික සැලසුම් කඩිනම් කිරීමට සමාගමට සිදුවී ඇත. සිටිලයින් ආයතනයේ සේවය කරන සේවකයන් 2,000කට ආසන්න පිරිසට ලුෆ්තන්සා සමූහයට අයත් අනෙකුත් අනුශාඛාවල රැකියා අවස්ථා ලබා දීමට ද පියවර ගෙන තිබේ.
යුරෝපීය ගුවන් සේවා ක්ෂේත්‍රය මුහුණ දී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කලාපීය ගමනාගමන පහසුකම් කෙරෙහි ද ඉදිරියේදී බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














