මාදිවෙල ඇවිදින සුවතා මංතීරුව වෙත සුනඛයන් රැගෙන ඒම තහනම් කර තිබියදීත්, ඇතැම් පුද්ගලයන් එම නීති රීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ ඇවිදින්නන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මංතීරුවේ සුනඛයන් ඇතුළත් කිරීම තහනම් බවට නිල වශයෙන් දැන්වීම් පුවරු සවිකර තිබියදීත්, ඒවා නොසලකා හරිමින් පිරිස් සුනඛයන් රැගෙන ඒම බරපතළ ගැටලුවක් වී තිබේ. මෙම නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් මින් පෙර අවස්ථා කිහිපයකදීම මංතීරුවට පැමිණි පුද්ගලයන්ව සුනඛයන් සපා කෑමට ලක්වීම නිසා පොලිස් මැදිහත්වීම් පවා සිදුවූ බව ජනතාව පෙන්වා දෙති.
එමෙන්ම, සුනඛයන් විසින් මංතීරුව අපිරිසිදු කිරීම හේතුවෙන් ඇවිදින්නන්ගේ පාවහන්වල සහ ඇඳුම්වල අපද්‍රව්‍ය තැවරීමෙන් ඇතිවන අපහසුතාවය ද අසීමිතය. මහජන මුදලින් ඉදිකර නඩත්තු කෙරෙන මෙම සුවතා මංතීරුව, නිසි කළමනාකරණයකින් තොරව මෙලෙස අවිධිමත් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිහඬ පිළිවෙත ගැන ජනතාව ප්‍රශ්න කරති.
මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, පොලිසිය ඇතුළු වගකිවයුතු බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.
















