ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත සම්බුද්ධ ශාසනයට එරෙහිව මෑතකාලීනව සිදුවන විවිධ අපහාස කිරීම්, අවතක්සේරු කිරීම්, කායික හා වාචසික හිංසනයන් මෙන්ම සංවිධානාත්මක එදිරිවාදිකම්වලට ඍජුවම විරුද්ධත්වය පළ කිරීම සඳහා ලබන ජූලි මස 27 වැනිදා කොළඹ දී බ්‍රහත් මහා සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ. ශාසනික උරුමය සහ භික්ෂු සංස්ථාවේ ගෞරවය සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම ඓතිහාසික සඟ සමුළුව සඳහා ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත ද නිල වශයෙන් ආරාධනා කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංවිධායක කමිටු ආරංචි මාර්ග සනාථ කරයි.
පටු අරමුණු වෙනුවෙන් බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මතවාදී ප්‍රහාරයන් වැළැක්වීම සඳහා සමස්ත මහා සංඝ රත්නය මෙලෙස එකම පොදු වේදිකාවකට පැමිණීම කාලීන අවශ්‍යතාවක් බව බෞද්ධ සංවිධාන පෙන්වා දෙති. රටක ආගමික සහජීවනය, සංස්කෘතික අනන්‍යතාව සහ සාමාජීය සදාචාරය පවත්වාගෙන යාමේදී, සම්ප්‍රදායික ආගමික ව්‍යුහයන් සහ ශාසනික උරුමයන් සුරක්ෂිත කිරීම අතිශය තීරණාත්මක සාධකයක් වන බව ආගමික හා සමාජයීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශාසන විරෝධී බලවේගයන්ට එරෙහිව ධර්මානුකූලවත්, නීත්‍යානුකූලවත් මඟපෙන්වීම් සිදු කිරීමට මෙන්ම ගිහි-පැවිදි සන්ධානය ශක්තිමත් කිරීමට මෙවැනි මහා සඟ සමුළුවක් ක්‍රියාවට නැංවීම, සමාජ ස්ථාවරත්වයට මනා පිටිවහලක් වන බව පරිපාලන හා සංස්කෘතික අංශ සන්කල්පනය කරයි. මෙම සමුළුවේ ඉදිරි තීරණ කෙරෙහි රටේ දැඩි අවධානයක් යොමුව පවතියි.













