මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් (01) දින සවස මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් රැඳවියෙකු මියගොස් තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන තාක්ෂණය ද නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කර ඇත. බන්ධනාගාරය අසල රැස්වූ ඥාතීන් පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මහජන සාමය තහවුරු කිරීම සඳහා කෙන්දලියද්ද වත්ත බටහිර, කෙන්දලියද්ද වත්ත උතුර සහ දඹුව යන ග්‍රාම නිලධාරී වසම්වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත සහ නව යුද හමුදාපති නිලාන්ත ප්‍රේමරත්න යන මහත්වරුන් ද ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රය වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළහ.
















