මහව, තිබ්බටුවැව ප්‍රදේශයේදී දැඩි ලෙස තුවාල ලබා සිය රංචුවෙන් වෙන්ව අසරණ වී සිටි කුඩා ඇත් පැටවෙකුට ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව පෙරේදා (16) දින කඩිනම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සමීපව සම්බන්ධ වෙමින් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද මෙම මානුෂීය මෙහෙයුම හරහා වනජීවී සම්පත් සංරක්ෂණය සහ ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාව මනාව පැහැදිලි වේ. වන රක්ෂණ ආශ්‍රිතව වල් අලි සහ වන සතුන් මුහුණ දෙන විවිධ උවදුරු සහ අනතුරු හමුවේ ආරක්ෂක අංශ සහ වනජීවී අංශ එක්ව මෙවැනි ක්ෂණික මැදිහත්වීම් සිදුකිරීම වඳවී යන සත්‍ය ජෛව සම්පත් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ජාතික මට්ටමින් වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වනු ඇත.
තුවාල ලැබූ ඇත් පැටවාට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීම සඳහා වනජීවී අංශ වෙත අවශ්‍ය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය අඛණ්ඩව ලබා දීමට ආරක්ෂක අංශ සූදානමින් පසුවේ. ඉදිරි කාලසීමාව තුළ මෙවැනි වනජීවී ආරක්ෂණ වැඩපිළිවෙළක් පුළුල් කරමින් පරිසර හිතකාමී සහ ස්ථාවර යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට අදාළ ආයතන අපේක්ෂා කරන අතර, ඒ හරහා මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයට තවත් වැදගත් සන්ධිස්ථානයක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














