තම සේවා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශක්තිමත් බැඳීමක් නිර්මාණය වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංවර්ධනයට අදාළ බොහෝ දේ ළඟා කර ගැනීමට හැකි වූ බවත් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයට පැමිණ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මතය අතිශය සතුටුදායක තැනක පවතින බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇමරිකාව ලබා දී ඇති සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගෙන යා යුතු බව පැවසීය.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පවතින සීමාවන් අභිබවා යමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මහින්ද සමරසිංහ මහතා සිදු කළ මෙහෙවර අති විශාල බවත්, දෙරට අතර අන් කවරදාටත් වඩා සුබවාදී පාලමක් නිර්මාණය වී ඇති බවත් එහි නියමුවා මහින්ද සමරසිංහ මහතා බවත් කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.














