ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඇමරිකාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් රජය තමන්ට තවදුරටත් එම ධුරයේ රැඳී සිටින ලෙස ආරාධනා කළ ද, ස්වකීය කැමැත්ත මත ඉන් ඉවත් වීමට තීරණය කළ බවයි.
තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණිය ද කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙමින් සක්‍රීය දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බව ඔහු අවධාරණය කළේය. තානාපති ධුරය දැරූ කාලසීමාව තුළ තමන් කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවී, රට වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට කැපවූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමරිකාවෙන් ලැබෙන තීරුබදු සහන තවදුරටත් පුළුල් කිරීමට අදාළ ගැසට් නිවේදනයකට ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර අත්සන් තැබූ බවත්, එමගින් මෙරට අපනයනකරුවන්ට සහ ජනතාවට විශාල සහනයක් හිමිවනු ඇති බවත් සඳහන් කළේය.














