පසුගියදා නිකුත් වූ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වාහන සහ ඉන්ධන භාවිතය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2026 අගෝස්තු 28 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
2015 සිට 2024 දක්වා පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූ පුද්ගලයින්ගේ වාහන භාවිතය පිළිබඳව එහි නිරීක්ෂණ ඉදිරිපත් කර ඇතත්, එම දත්ත දේශපාලන අරමුණක් වෙනුවෙන් සිතාමතාම විකෘති කරමින් සමාජගත කර ඇති බව ඔහු පවසයි. තමා කථානායක ධුරය දැරූ සමයේදී භාවිතා කළේ පාර්ලිමේන්තුව මගින් නිල වශයෙන් ලබා දී තිබූ වාහන පමණක් බව අදාළ විගණන වාර්තාවෙන්ම තහවුරු කර ඇති බව අබේවර්ධන මහතා අවධාරණය කරයි. පසුගිය වසරේදී තමා වාහන නවයක් භාවිතා කළ බවට එල්ල වූ චෝදනාව ද්වේශ සහගත සහ අසත්‍ය එකක් බව ඔහු සිහිපත් කරයි. මෙම සියලු වාහන කථානායකවරයාගේ නිල රාජකාරි සහ ආරක්ෂක අවශ්‍යතා මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛ හා රාජ්‍ය ප්‍රතිපාදන අනුව ලබා දුන් ඒවා වේ.
තවද, 2023 සහ 2024 වසරවල ඔහුගේ ඉන්ධන භාවිතය ඉහළ ගොස් ඇති බවට ඇති දත්තය පමණක් ගෙන, එය අධික පෞද්ගලික ඉන්ධන භාවිතයක් ලෙස සමාජ මාධ්‍ය හරහා අර්ථ දැක්වීම සම්පූර්ණ සත්‍ය විකෘති කිරීමක් බව ඔහු පෙන්වා දෙයි. මෙම අතිවිශාල ඉන්ධන ප්‍රමාණය තනි වාහනයක් සඳහා වසරක් තුළ යොදාගත් බවට ගම්‍ය වන පරිදි සිදුකරන ප්‍රකාශ වැරදි සහගත වන අතර, මෙම මුදල භාවිත කළ සියලුම වාහන සඳහා වැය කරන ලද මුළු මුදල බව විගණන වාර්තාවේද පැහැදිලිව සඳහන් කර ඇති බව හිටපු කථානායකවරයා සිය නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.














