‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා දැඩි ලෙස පීඩාවට පත් වූ මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ලුපිටිය ගම්වාසීන් පිරිසක්, තමන්ට හිමිවිය යුතු නිවාස හානි වන්දි මුදල් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (05) මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ. ගංවතුරෙන් අර්ධ හානි සිදුවූ නිවාස සඳහා රජයෙන් ලක්ෂ 05ක වන්දි මුදල් ලබාදීමට නියමිතව තිබුණද, එම නිවාස මහවැලි ගඟ හා ඇළ රක්ෂිතවල හෝ මහියංගණ රාජමහා විහාරයට අයත් ඉඩම්වල පිහිටා ඇති බව පවසමින් වන්දි ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගැනීම මෙම විරෝධතාවට මුල් විය.
දෙපතුල දක්වා පමණක් වතුර ගැලූ නිවාසවලට වන්දි ගෙවා තිබියදී, වහල දක්වා යට වූ අහිංසක ජනතාවගේ නිවාසවලට මෙලෙස වන්දි නොගෙවීම අතිශය අසාධාරණ බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. “වන්දි දුන්නේ ඔප්පුවලටද නැත්නම් ගංවතුරටද?”, “පන්සලෙන් මුදලට ගත්ත ඉඩම් රක්ෂිත කළේ ඇයි?”, සහ “රක්ෂිතවලත් ඉන්නේ මිනිසුන් නොවේද?” වැනි සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ගම්වැසියන් විරෝධය පළ කළහ. වගකිවයුතු නිලධාරියෙකු නොපැමිණීම හේතුවෙන් විරෝධතාකරුවන් මහියංගණ – බදුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීම නිසා උණුසුම් තත්ਤවයක් හටගත් අතර, අද (06) උදෑසන ප්‍රාදේශීය ලේකම්වරයා හමීවී සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.













