හිටපු ජනාධිපතිවරුන් කෙරෙහි අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා එල්ල වී තිබුණද, කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර දීර්ඝ කාලයක් පුරප්පාඩු තබාගෙන නොසිටි බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 බැගින් මේ වන විට පවතින බවත්, පහළ අධිකරණවල විනිසුරුවන් එම තනතුරු සඳහා උසස්වීම් අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවල ඇතැම් දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමේ දිනයන් සහ ඔවුන් බන්ධනාගාර ගත කිරීම් පිළිබඳව කල්තියා ප්‍රකාශ කිරීම් සිදු කරනු ලබයි. එවැනි පසුබිමක, ආණ්ඩුවට අවශ්‍ය පරිදි තීන්දු ලබා දෙන විනිසුරුවන්ට එම තනතුරු අල්ලස් ලෙස ලබා දීමට මෙම පුරප්පාඩු තබාගෙන සිටින්නේද යන බරපතල සැකය ජනතාව තුළ මතු වන බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.
මෙවැනි තත්ත්වයන් දැකීමෙන් තමන් තුළ දැඩි පිළිකුලක් උපදින බවත්, මෙය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතු කරන කරුණක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
















