27 April 2024
#දේශීය

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ.

ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් විකුම් ලියනගේ මහතා වෙත භාරදෙනු ලැබිණ.

දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට (ජුනි 01) යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇත.

මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ මහතා 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබාගත් විකුම් ලියනගේ මහතා දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට පත් කෙරිණ.

35වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණදෙන, අණදෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති විකුම් ලියනගේ මහතා ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත.

මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 8වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කළ ලියනගේ මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත් වූවෙකි. රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් හිමිකරගෙන ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *