මලෙයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200කට පසු ඔප්පුවක් සහිත තමන්ගේම නිවසක් සහ ස්ථිර ලිපිනයක් ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2017 වසරේ සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් පාලින්දනුවර, පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17ක් ඉදිකිරීමේ කටයුතු අද (03) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි. රුපියල් ලක්ෂ 34ක් බැගින් වියදම් කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 12ක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින්ද, ඉතිරි නිවාස 5 ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන්ද ඉදිකෙරේ.
වසර 9ක් පුරා අවදානම් තත්ත්වයන්ට මුහුණ දී සිටි ආපදා ලාභීන්ට ස්ථිර නිවාස ලබාදීම මෙන්ම, “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහනේ 2026 වසරේ දෙවන අදියර යටතේ පාලින්දනුවර ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 16 දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය. දිගුකාලීනව පීඩාවට පත්ව සිටින ජනතාවට සුරක්ෂිත නිවාස හිමිකරදීම රජයේ මූලික අරමුණක් බවත්, ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














