ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය සාර්ථකව පාලනය කර තිබූ පසුබිමක, එම මර්දන ව්‍යාපාරය දැඩි අර්බුදයකට ලක් කළ හැකි නව මැලේරියා ආශ්‍රිත පරපෝෂිතයෙකු මතුවීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් රටට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, පසුගිය වසරේ (2025) රට තුළ මැලේරියා රෝගීන් 34 දෙනෙකු වාර්තා වූ අතර, මේ වසරේ (2026) ගත වූ කාලය තුළ පමණක් මේ වන විට රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ සාම්ප්‍රදායික මැලේරියා පරපෝෂිතයන් මෙන් නොව, මෙම අලුතින් හඳුනාගත් පරපෝෂිතයාට මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එකලෙස ආසාදනය වීමේ සුවිශේෂී හැකියාවක් පැවතීමයි. මේ හේතුවෙන් රෝගය තුරන් කිරීම අතිශය දුෂ්කර වනු ඇතැයි වෛද්‍යවරයා කනස්සල්ල පළ කරයි.
“මෙම පරපෝෂිතයා සියවසකට වැඩි කාලයක් ලෝකයේ පැවතුණත්, සතුන්ට ආසාදනය වීමට ඇති හැකියාව නිසා මෙය විශේෂයෙන්ම භයානක වෙනවා. යම් හෙයකින් මෙය සමාජය තුළ පැතිර ගියහොත්, රෝගය පාලනය කිරීම බරපතළ අභියෝගයක් වේවි. මොකද එතකොට මිනිසුන්ට වගේම සතුන්ටත් එකවර ප්‍රතිකාර කිරීමට සිදුවන නිසයි,” යැයි වෛද්‍ය සේරසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ජාත්‍යන්තර ප්‍රගතිය මෙමඟින් අඩපණ විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා ඉහළ නිරීක්ෂණ (Surveillance) සහ දැඩි වැළැක්වීමේ පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.
















