මැලේසියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීම තහනම් කරමින් නව නීති මාලාවක් අද (01) සිට බලාත්මක කර තිබේ. දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමේ ගෝලීය උත්සාහයක කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.
මෙම නීති යටතේ, මිලියන 8කට වැඩි පරිශීලකයින් සිටින ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා වයස් සත්‍යාපන පද්ධති (Age-verification systems) ක්‍රියාත්මක කළ යුතු අතර, අවුරුදු 16ට අඩු දරුවන්ට ගිණුම් නිර්මාණය කිරීම අවහිර කළ යුතුය.
නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට රින්ගිට් මිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්) දක්වා දඩ මුදල් නියම වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, තම දරුවන් මෙම නීතිය මගහැර ගිණුම් භාවිතා කළහොත් දෙමාපියන්ට දඬුවම් නොලැබේ. දරුවන් අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් හිරිහැරවලින් සහ හානිකර අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.
මෙම තීරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබේ. තාක්ෂණික සමාගම් කියා සිටින්නේ, මෙම තහනම නිසා යොවුන් වියේ දරුවන් ආරක්ෂිත වේදිකාවලින් ඉවත් වී නියාමනයක් නොමැති අන්තර්ජාලයේ වෙනත් අනාරක්ෂිත කොටස් වෙත යොමුවීමේ අවදානමක් ඇති බවයි. එසේම, වයස් සත්‍යාපනය සඳහා රජයේ හැඳුනුම්පත් භාවිත කිරීමට සිදුවීම දත්ත පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු කරන බව ඇතැම් විද්වතුන් පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටමත් මෙවැනි වයස් සීමාවන් හඳුන්වා දී ඇති අතර, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ දකුණු කොරියාව වැනි රටවල් ද සමාන නීති සකස් කරමින් පවතී.
















