මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ මෙරට වෙසෙන මාලදිවයින් ජාතිකයින් මුහුණ දෙන වීසා ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමයි. ශ්‍රී ලංකා රජය ද මෙම ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ප්‍රජාව සමඟ පැවැති හමුවකදීය. පසුගිය වසර දෙක තුළ මෙම ගැටලුව විසඳීම සඳහා වැදගත් වැඩ කොටසක් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ද ධනාත්මක ප්‍රතිචාර සහ සහතිකයක් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දෙරටේම අදාළ බලධාරීන් ඒකාබද්ධව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර, සංචාරය අතරතුර පැවැත්වෙන නිල සාකච්ඡා හරහා ද ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය මඟින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














