කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මාර්ග සංඥා පුවරුවකට (Traffic Light) නැඟි පුද්ගලයෙකු අද උදෑසන පොලිසිය සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ආරක්ෂිතව බේරාගෙන තිබේ.
අදාළ පුද්ගලයා සංඥා පුවරුව මත සිටියදී, ආරක්ෂිත පියවරක් ලෙස ගිනි නිවන සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් වායු පිරවූ ආරක්ෂිත මෙට්ටයක් (Inflatable safety cushion) එම ස්ථානයට යොදා තිබුණි. වීඩියෝ දර්ශනවලට අනුව, ඔහු අල්ලාගෙන සිටි රෙදි කැබැල්ලක් ගිලිහී යාමෙන් ඔහු පහළට වැටී ඇති අතර, ආරක්ෂිත මෙට්ටය මතට වැටීම හේතුවෙන් කිසිදු තුවාලයකින් තොරව ඔහු බේරී ඇත.
මුදාගැනීමේ නිලධාරීන් ඔහු අසලට යන අවස්ථාවේදී “කරුණාකර මට ගහන්න එපා” යනුවෙන් ඔහු පවසනු අසන්නට ලැබුණි. පසුව පොලිස් නිලධාරීන් ඔහුව අස්වසමින් එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයා මෙලෙස සංඥා පුවරුවට නැඟීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














