මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික ගෑස් ගවේෂණය සහ නිස්සාරණය කිරීමේ කටයුතු ඉදිරි වසර 3ත් 5ත් අතර කාලය තුළ සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි. මන්නාරම ගෑස් ගවේෂණයට අදාළ ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අගෝස්තු 25 වනදා වෙබ් අඩවිය හරහා ආරම්භ වී ඇති අතර, එය ලබන වසරේ පෙබරවාරි මස මුල දක්වා විවෘතව පවතින බව ඔහු සඳහන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කලාප හතරක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර සමාගම්වලට අවස්ථාව පවතින අතර, ප්‍රමුඛ පෙළේ විදේශීය සමාගම් රැසක් මේ සඳහා දැනටමත් උනන්දුවක් දක්වන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංස්ථාව රුපියල් බිලියන 27ක ලාභයක් උපයා ඇති බවත්, ඩීසල් වැනි ඉන්ධන සඳහා විශාල වශයෙන් සහනාධාර ලබාදීම හේතුවෙන් ලාභය යම් ප්‍රමාණයකින් අඩු වුවද සමස්තයක් ලෙස සංස්ථාව ශක්තිමත් මූල්‍ය මට්ටමක පවතින බවත්ය.













